Printfriendly

පනස් අට වන කොටස

ඉක්බිත්තෙන් කුසිනාරා වැසි මල්ල රජ දරුවෝ ශාරීරික ධාතුන් සන්ථාගාර ශාලාවෙහි තැන්පත් කොට කඩු ගත් අත් ඇති යෝධ පුරුෂයන් ලවා හාත්පසින්ම වටකොට ආරක්ෂා පිහිටුවා දුනු කෙළවරින් දුනු කෙළවර පහරමින් සිටියාවූ දුනුගත් ධනුර්ධයන්ගේ දුනු පවුරකින් වටකොට සත්දවසක් මුළුල්ලෙහි නැටුම් ගී කීම් වාදන කිරීම් ආදියෙන්ද මලින් හා සුවඳ වලින්ද සත්කාර කළාහුය, ගරු කළාහුය, වන්දනා කළාහුය, පූජා කළාහුය.

අජාසත් රජ භාග්‍යවතුන් වහන්සේ වනාහි කුසිනාරා නම් නුවර පිරිනිවන් පා වදාළ සේකැයි ඇසුයේමය. එවිට අජාසත් මහ රජ තෙම "භාග්‍යවතන්වහන්සේද ක්ෂත්‍රීය වන සේක. මමද ක්ෂත්‍රීය වෙමි. භාග්‍යවතුන් වහන්සේගේ ශරීර ධාතු කොටසක් ලබන්නට මමද සුදුසු වෙමි. මමද සර්වඥයන් වහන්සේගේ ශ්‍රී ශාරිරික ධාතුන් වහන්සේලාට චෛත්‍යයයක් කරවා පූජා සත්කාර කරනු කැමැත්තෙමියි" කියා කුසිනාරා නුවර නිවාසීවූ මල්ල රජ දරුවන්ට දූතයෙකු යැව්වේය.

විසාලා නුවර වැසි ලිච්ඡවි රජදරුවෝද කිඹුල්වත් පුරයෙහි වාසය කරන්නාවූ ශාක්‍ය රජ දරුවෝද භාග්‍යවතුන් වහන්සේ වනාහි කුසිනාරා නම් පුරයෙහි පරිනිවන් පා වදාළ සේකැයි ඇසුවාහුය. එවිට කිඹුල්වත් පුර වාසි ශාක්‍ය රජ දරුවෝ "භාග්‍යවතුන් වහන්සේද අපගේ ඥාති ශ්‍රේෂ්ට වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීර ධාතු කොටසක් ලබන්නට අපිද සුදුසු වන්නෙමු. අපිද සර්වඥයන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාට චෛත්‍යයයක් කරවා පූජා සත්කාර කරනු කැමැත්තෙමුයි" කියා කුසිනාරා වැසි මල්ල රජ දරුවන්ට දූතයෙකු යැවුවාහුය.

අල්ලකප්ප නම් නුවර වාසය කරන්නාවූ බූලිය නම් ක්ෂත්‍රිය රජ දරුවෝද රාම ග්‍රාමයෙහි වාසය කරන්නාවූ කොලිය රජ දරුවෝද පාවා නම් නුවර වාසය කරන්නාවූ මල්ල රජ දරුවෝද එසේම කළාහුය.

වෙඨදීප නම් බ්‍රාහ්මණ තෙමේද පිරිනිවන් පෑම ගැන අසා "භාග්‍යවතුන් වහන්සේද ක්ෂත්‍රිය වූ සේක. මමද බ්‍රාහ්මණ වූයෙමි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශාරිරික ධාතු කොටසක් ලබන්නට මමද සුදුස්සෙක් වෙමි. ධාතුන් වහන්සේලාට මමද චෛත්‍යයයක් කරවා පූජා සත්කාර කරනු කැමැත්තෙමි" කියා කුසිනාරා වැසි මල්ල රජ දරුවන්ට දූතයෙකු යැවූයේය.

මෙසේ කී කල්හි කුසිනාරා වැසි මල්ල රජ දරුවෝ සත් නගරයෙන් පැමිණ සිටි ජන සමුහයාට මෙසේ කීවාහුය. "භාග්‍යවතුන් වහන්සේ අපගේ ග්‍රාම ක්ෂෙත්‍රයෙහි පිරිනිවන් පා වදාළ සේක. අපි භාග්‍ය වතුන් වහන්සේගේ ශාරිරික ධාතුකොටසක් නොදෙම්හයි" කීවාහුය. මෙසේකී කල්හි ද්‍රෝණ බ්‍රාහ්මණ තෙම රජදරුවන් සමූහයාට මේ(අදහස් ඇති)ගාථා දෙකකින් මෙසේ කීය.

"පින් වත්වූ රජ දරුවෙනි, මා කියන්නාවූ මේ එක් වචනයක් අසත්වා, අපගේ බුදුරජාණන් වහන්සේ ක්ෂාන්තිවාදීවූ සේක. ලෝකෝත්තම ස්වාමිදරුවන්ගේ ධාතු කොටසක් නිසා ආයුධ වලින් පහර දී ගැනීමක් වූයේ නම් යහපත් නොවේමය."

"සියලු පින්වත්හුම එක්ව සමගිව සතුටු වෙමින්(ධාතුන්)අට කොටසක් කරම්හ. දිසාවල චෛත්‍යයයෝ පැතිරෙත්වා. පසැස් ඇත්තාවූ බුදුරජාණන් වහන්සේට පැහැදුන ජනයෝ බෙහෝ වන්නාහුය" කියායි

"එසේනම් බ්‍රාහ්මණය,තෙපිම භාග්‍ය වතුන්වහන්සේගේ ශාරීරීක ධාතූන් මනාකොට සමව අට කොටසක් කොට බෙදවයි" කීවාහුය. බ්‍රහ්මණයා ශාරීරීක ධාතුන් මනා කොට සමව අට කොටසක් කොට බෙදා රජදරු සමුහයාට මෙසේ කීය. "පින්වත්නි, මටද මේ ධාතු බෙදන ලද නැලිය දෙත්වා. මමද ධාතු බෙදන ලද නැලිය තබා චෛත්‍යයයක් කොට පූජා සත්කාර කෙරෙමියි" කීය.

රජ දරුවෝ ද්‍රෝන නම් බ්‍රාහ්මනයාට ධාතු බෙදි නැලිය දුන්නාහුය. ඊටපසු පිප්ඵලිවනිය නම් මොරිය රජ දරුවෝද "භාග්‍යවතුන් වහන්සේගේ ශාරිරික ධාතු භාගයක් ලබන්නට අපිද සුදුස්සෝ වම්හ. අපිද චෛත්‍යයයක් කරවා පුජාසත්කාර කරනු කැමැත්තෙම්හයි" කියා කුසිනාරා වැසි මල්ලරජ දරුවන්ට දූතයෙකු යැවූහ.

"භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරීක ධාතු කොටසක් නැත්තේය. භාග්‍යවතුන් වහන්සේගේ ශාරිරික ධාතු බෙදන ලද්දාහුය. මේ ආදාහන ස්ථානයෙන් අඟුරු ගෙන යෙත්වයි" කීවාහුය. මෞර්‍ය රජ දරුවෝ භාග්‍යවතුන් වහන්සේගේ ආදාහන ස්ථානයෙන් අඟුරු හැරගෙන ගියහුය.

එවිට වෙදෙහ පුත්‍රවූ මගධ රටට අධිපති අජාසත් මහරජ තෙම රජගහ නුවරද, විසාලා මහනුවර වාසීවූ ලිච්ජවි රජදරුවෝද විසාලා නම් නුවරද, කිඹුල්වත් නම් නුවර වාසී ශාක්‍ය රජ දරුවෝද කිඹුල්වත් නම් පුරයෙහි ද, අල්ලකප්ප නම් නුවර වාසී වූ බූලය නම් රජ දරුවෝ අල්ලකප්ප නම් නුවර ද, රාම ග්‍රාමයෙහි වාසය කරන්නාවූ කෝලිය නම් රජහු රාම නම් ගමෙහි ද, වෙටදිප නම් නුවර වාසී වූ බ්‍රාහ්මණ තෙමේද වෙටදීපයෙහි ද, පාවා නම් නුවර වාසී වූ මල්ල රජදරුවෝ පාවා නම් පුරයෙහි ද, කුසිනාරා වැසි මල්ල රජ දරුවෝ එහිද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශාරීරික ධාතුන් වහන්සේලාට චෛත්‍යයයන් කරවා පූජා සත්කාර කළාහුය.

ද්‍රෝණ නම් බ්‍රාහ්මණ තෙමේද ධාතු මැන බෙදන ලද නැලිය තබා චෛත්‍යයයක් කරවා පූජා සත්කාර කළේය. පිප්ඵලිවනිය  මොරිය රජහුද පිප්ඵලිවන නම් පුරයෙහි අන්ගාර ථූප නම්වූ දාගැබක් කරවා පූජා සත්කාර කළාහුය. මෙසේ ශාරීරික චෛත්‍යයයෝ අටක් වූවෝය. කුම්භථූප චෛත්‍යයය නවවැනි වූයේය. අන්ගාර චෛත්‍යයය දසවැනි වූයේය.

පසැස් ඇත්තාවූ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු අට ද්‍රෝණයක් වූහ. එයින් සත් ද්‍රෝණයක් දඹදිව වාසිහු පුදත්. පුරුෂොත්තම වූ බුදුරජාණන් වහන්සේගේ එක් ධාතු ද්‍රෝණයක් රාම ග්‍රාමයෙහි නා රජ පුදයි. එක් දන්ත ධාතුන් වහන්සේ නමක් දෙව්ලොව දෙවියන් විසින් පුදන ලද්දේය. එක් දන්ත ධාතුන් වහන්සේ නමක් වනාහි ගන්ධාර දේශයෙහි පුදන ලද්දේය. එක් දන්ත ධාතුන් වහන්සේ නමක් වනාහි කාලිංග නම් රජහුගේ (කලිඟු රට දන්ත නම් පුරයෙහි) පුදන ලද්දේය. එක් දන්ත ධාතුන් වහන්සේ නමක් නා ලොව නාරජහු පුදත්.  

සතර දළදා වහනසේගේ තේජානුහාවයෙන් පුජනීය වස්තු පරිත්‍යගයෙන් කරන ලද පූජා උත්සව මංගලයෙන් මේ මුළු පොළව අලංකාර වූවාය. සත්කාර කරනු ලබන්නවුන් විසින් සත්කාර කරනු ලද්දාවූ මනාකොට  සත්කාර කරනු ලද්දාවූ පසැස් ඇත්තාවූ බුදුරජාණන් වහන්සේගේ මේ සර්වඥ ශාරීරික ධාතුන් වහන්සේ මෙපරිද්දෙන්ම දෙවි රජුන්, මිනිස් රජුන් විසින් පුදන ලද්දේය. එසේම මනුශ්‍යය උත්තමයන් විසින් පුදන ලද්දේය.  

ඇඟිලි බැඳගෙන සර්වඥ ශාරීරික ධාතුන් වහන්සේලාට නමස්කාර කෙරෙත්වා. සර්වඥඋත්මයාණන් වහන්සේ ඒකාන්තයෙන් කල්ප සියයකිනුදු දුර්ලභ වන්වන්ය. (දීඝ නිකාය මහා පරිනිර්වාණ)

0 අදහස් හා විමසීමි:

Post a Comment

ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො

අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!
Related Posts Plugin for WordPress, Blogger...