පනස් හතර වන කොටස

එකල සුභද්‍ර නම්වූ පරිබ්‍රාජකයෙක් "අද රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි ශ්‍රමණ භවත් ගෞතමයාණන් වහන්සේගේ පරිනිර්වාණය වන්නේයයි" කියා ඇසුයේය.

එවිට සුභද්‍ර නම් පරිබ්‍රාජකතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම වෙත පැමිණ මෙසේ කීයේය. "පින්වත්වූ ආනන්ද ස්ථවිරය, මහළුවූ වයස්ගතවූ ආචාර්යවරයන් විසින්ද ආචර්යවරයන්ගේ ආචාර්යවරයන් විසින්ද කියන ලද "අරහත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතවරයෝ ඉතා බොහෝවූ දීර්කාලයකින් ලොව උපදනාහුය" යන මේ වචනය මා විසින් අසන ලද්දේය. "අද රාත්‍රියේ අන්තිම යාමයෙහි ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ පිරිනිවන්පෑම වන්නේය. මට උපන්නාවූ සැකයක්ද ඇත්තේය. යම්සේ මම මේ සැකය දුරු කෙරෙම්ද එසේ ධර්ම දේශනා කරන්ට ශ්‍රමණ භවත් ගෞතමතෙම පොහොසත් වන්නේයයි කියා ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කෙරෙහි පැහැදුනෙමි. පින්වත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්ස, ශ්‍රමණ භවත් ගෞතමයාණන් වහන්සේ දැකීමට ලබන්නෙම් නම් යහපතැයි" යාඥා කළේය.

"ආනන්ද සථවිරතෙම ඇවැත්වූ සුභද්‍රය, දැන් එය කළ නොහැකිය. තථාගතයන් වහන්සේ නොවෙහෙසව, භාග්‍යවතුන් වහන්සේ ක්ලාන්තවූ සේකැ"යි කීවේය. දෙවෙනි වරද, තුන්වැනි වරද ආනන්ද ස්ථවිරයන්ට මෙසේ කීවේය. භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ සුභද්‍ර නම් පරිබ්‍රාජකයා හා සමග කළාවූ මේ කථා සල්ලාපය ඇසුවෝය. එවිට භාග්‍යවතුන් වහන්සේ "ආනන්දය, සුභද්‍රයා නොවලක්වව, සුභද්‍ර පරිබ්‍රාජක තෙම තථාගතයන් වහන්සේගේ දැකීම ලබත්වා. සුභද්‍ර තෙම මාගෙන් යම් කිසිවක් විචාරන්නේ වේද, සියල්ල දැන ගන්නට කැමතිවම විචාරන්නේය. මා වෙහෙසනු කැමතිම නොවන්නේය. ඔහු විසින් යමක් විචාරණ ලදුව මම ඔහුට ප්‍රකාශ කෙරෙම්ද, ප්‍රකාශ කොට කියන ලද කාරණය වහාම ඔහු දැනගන්නේයයි" කීවෝය. "ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම, "ඇවැත්නි සුභද්‍රය, යව. ඔබට භාග්‍යවතුන් වහන්සේ අවසර දුන්නෝයයි" කීයේය.

එවිට සුභද්‍ර නම් පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ බාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වූයේය. සතුටූ විය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා සුභද්‍ර නම් පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය. "භවත් ගෞතමයන් වහන්ස, සංඝ සමූහ ඇත්තාවූ, ශිෂ්‍ය සමූහ ඇත්තාවූ, බොහෝ ශ්‍රාවකයන්ට ආචාර්යවූ ලෝක ප්‍රසිද්ධවූ යස පිරිවර ඇත්තාවූ, තීර්ථ කරවූ, බොහෝ ජනයා පණ්ඩිතයයි පිළිගත්තාවූ යම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ඇත්තාහු වෙත්ද, ඔහු කවුරුද යත්ූ පූර්ණ කාශ්යපය, මක්ඛලීගොසාලය, අජිතකෙශම්බලය, පකුධකාත්යායනය, සංජය නම් බෙල්ලට්ඨි පුත්‍රය, නිගණ්ඨ නාත පුත්‍රය යන මොවුහු වෙත්. ඔවුහු සියල්ලෝම ඔවුන්ගේ ප්‍රකාශය යම්සේද එපරිද්දෙන්ම දැනගත්තාහුද, නොදැනගත්තාහුද නොහොත් ඇතැම් කෙනෙක් දැනගත්තාහුද, ඇතැම් කෙනෙක් නොදැනගත්තාහුද" කියා ඇසීය.

"සුභද්‍රය, ඔවුන්ගේ දැන ගැනීම ගැන ඔබගේ වචනය තිබෙවා. සුභද්‍රය, ඔබට ධර්ම දේශනා කරන්නෙමි. ධර්මය මනාකොට අසව, යහපත් කොට සිත්හි දරව, දේශනා කරන්නෙමියි" කීවෝය. "එසේය, ස්වාමීන් වහන්සැයි" කියා සුබද්‍ර නම් පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළසේක.

"සුභද්‍රය, යම් ධර්ම විනයෙක්හි වනාහි උතුම් අෂ්ටාංගික මාර්ගය නොලැබෙන්නේ වේද, ධර්ම විනයෙහි ශ්‍රමණයෙකුද දෙවෙනි තුනවෙනි සතරවෙනි ශ්‍රමණ තෙමේද නොලැබෙන්නේය. සුභද්‍රය, යම් ධර්ම විනයෙක්හි උතුම් අෂ්ටාංගික මාර්ගය ඇත්තේ වේද, ධර්ම විනයෙහි ශ්‍රමණ තෙමේද දෙවෙනි තුනවෙනි සතරවෙනි ශ්‍රමණ තෙමේද ඇත්තේ වෙයි. සුභද්‍රය, මාගේ මේ ධර්ම විනයෙහි උතුම් අෂ්ටාංගික මාර්ගය ඇත්තේය. සුභද්‍රය, මාගේ මේ ශාසනයෙහි පළමුවෙනි ශ්‍රේතාපන්න ශ්‍රමණ තෙමේද දෙවෙනිවූ සකෘදාගාමි ශ්‍රමණ තෙමේද තුනවෙනිවූ අනාගාමී ශ්‍රමණ තෙමේද සතරවෙනිවූ අර්හත් ඵලයට පැමිණුන ශ්‍රමණ තෙමේද ඇත්තේ වෙයි. අන්‍ය වාදයෝ ශ්‍රමණයන් කෙරෙන් ශුන් වන්නාහුය. සුභද්‍රය, මාගේ මේ ශාසනයෙහි භික්ෂූහු යහපත් හැසිරීමෙන් යුක්තව වාසය කරන්නාහු වී නම් මේ ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේය."

"වයසින් එකුන්තිස් වයස් වූයේම සර්වඥතාඥානය සොයමින් පැවිදි වූයෙම්ද, එතැන් පටන් පනස්පස් අවුරුද්දකට වැඩි මේ කාලය තුළ මාගේ මේ ශාසනයෙන් පිටත අන්‍ය වාදයෙක්හි උතුම් මාර්ග ධර්මයෙහි කොටසක්වත් පවතින විදර්ශක ශ්‍රමණයෙකුත් නැත්තේය. දෙවෙනි තුන්වැනි සතරවෙනි ශ්‍රමණයෙකුත් නැත්තේය. අන්‍යවාදයෝ ශ්‍රමණයන්ගෙන් හිස්වන්නාහුය. සුභද්‍රය, මාගේ මේ ශාසනයෙහි භික්ෂූහු යහපත් හැසිරීමෙන් යුක්තව වාසය කරන්නාහු වී නම් මේ ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේයයි" කීවෝය.

මෙසේ වදාළ කල සුභද්‍ර නම් පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය. "ස්වාමීන් වහන්ස, ඉතා යහපත්ය, භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කාරණයෙන් ධර්මය ප්‍රකාශ කරන ලද්දේය. ස්වාමීන් වහන්ස, මම සියලු ලෝකයාට ප්‍රධානවූ භාග්‍යවතුන් වහන්සේද ලෝකයාට උතුම් ධර්ම නවයවූ ශ්‍රී සද්ධර්මරත්නයද අෂ්ටාර්ය පුද්ගල භික්ෂු සංයාද සරණ යෙමි. මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි ප්‍රව්‍රජ්යාව හා උපසම්පදාව ලබන්නෙමියි" කීවේය.

"සුභද්‍රය, පෙර අන්‍ය තීර්ථකවූ යම් පුද්ගලයෙක් තෙම මේ ධර්ම විනය නම් ශාසනයෙහි පැවිදිවී කැමතිවන්නේ වීද, උපසම්පදාව කැමතිවන්නේ වීද, පුද්ගල තෙම සාර මසක් භික්ෂු සංඝයා වෙත විසිය යුතු වන්නේය. සාරමසක්හුගේ ඇවෑමෙන් ඔහුගේ හික්මීම දැක සතුටුවූ භික්ෂූහු භික්ෂුභාවය පිණිස පැවිදි කරන්නාහුද, උපසම්පදා කරන්නාහුද වෙත්. එහෙත් මෙහිදී පුද්ගල විශේෂය දැනගන්නා ලද්දේයයි" වදාළ සේක.

"ස්වාමීන් වහන්ස, මම සතර අවුරුද්දක් භික්ෂු සංඝයා වහන්සේ වෙත උපස්ථාන කරමින් වාසය කරන්නෙමි. සතර අවුරුද්දක්හුගේ ඇවෑමෙන් සතුටුවූ භික්ෂු සංඝයා වහන්සේ භික්ෂුභාවය පිණිස මා මහණ කරත්වා, උපසම්පදා කරත්වායි" කියා භාග්‍යවතුන් වහන්සේට දැන්නුවේය.

භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකර "ආනන්දය, සුභද්‍ර පැවිදි කරවයි" කී සේක. "එසේය, ස්වාමීන් වහන්සයැයි" කියා ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිර තෙම උත්තර දුන්නේය.

සුභද්‍ර නම් පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් ප්‍රව්‍රජ්යාව හා උපසම්පදාවද ලබන ලද්දේය. උපසම්පදාවූ නොබෝ කලකින්ම ආයුෂ්මත්වූ සුභජ් ස්ථවිරතෙම තනිව විවේක ස්ථානයකට පැමිණ අප්‍රමාණ භාවයෙන් යුක්තව කායික චෛතසික වීර්යය ඇතිව දුරුකරන ලද ආත්ම ස්නේහ ඇතිව වාසයකර නොබෝ කලකින්ම අර්හත් ඵල ඥානය මේ ආත්මභාවයෙහිම තමන්ම ඇතිකරගත් ඥානයෙන් දැන අවබෝධකොට වාසය කළේය. සුභද්‍ර ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ අන්තිම ශාක්ෂි ශ්‍රාවක (භාග්‍යවතුන් වහන්සේ ජීවත්වන කල්හි මහණව පසුව රහත්වූ ශ්‍රාවකයා) නම් විය.

එවිට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ ආනන්ද තෙරුන් වහන්සේට කථාකර මෙසේ කීසේක. "ආනන්දය, මා විසින් තොපට යම් ධර්මයක් දේශනා කරන ලද්දේ වේද, යම් විනයක් පනවන ලද්දේ වේද, ධර්මය සහ විනය මාගේ ඇවෑමෙන් තොපට ගුරුවරයා (ශ්‍රාස්තෘ) වන්නේයයි" කීවෝය.

ආනන්දය, වැඩිමහළුවූ (ථෙරවූ) මහණහු විසින් බාලවූ භික්ෂුවට නමින් හෝ ගෝත්‍රයෙන් හෝ "ඇවැත්නි" කියා හෝ කථා කළ යුත්තේය. බාලවූ භික්ෂුව විසින් වැඩිමහල් (ථෙර) භික්ෂුවට, "ස්වාමීනි" කියා හෝ "ආයුෂ්මතුන් වහන්සැයි" කියා හෝ කථා කළ යුත්තේය."

ආනන්දය, සංඝතෙම, ඉදින් කැමැත්තේවී නම් මාගේ ඇවෑමෙන් ඉතා සුලුවූ කුඩාවූ ශික්ෂා පදයන් සමූනනය (ඉදිරීම) කෙරෙත්වා." ආනන්දය, ඡුන්න නම් භික්ෂුවට මාගේ ඇවෑමෙන් "බ්‍රහ්මදණ්ඩය" නම් ඩුවම කළ යුත්තේයයි" කීවෝය.

"ස්වාමීන් වහන්ස, බ්‍රහ්මදණ්ඩය නම් කුමක්දැයි" ඇසුවේය.

"ආනන්දය, ඡුන්න නම් භික්ෂුතෙම තමාට යමක් කැමැත්තේද, එය කියන්නේය. භික්ෂුන් විසින් ඔහුට කිසිවක් නොකිය යුත්තේය, අවවාද නොකට යුත්තේය, අනුශාසනා නොකට යුත්තේයයි" කීවෝය. එවිට භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථාකර මෙසේ කීසේක. "එක භික්ෂුවක්හටද බුදුන් කෙරෙහිද ධර්මය කෙරෙහිද සංයා කෙරෙහිද මාර්ගය කෙරෙහිද ප්‍රතිපත්තිය කෙරෙහිද සැකයක් හෝ විමතියක් වී නම්, විචාරව්. "ශාස්තෲවූ භාග්‍යවතුන් වහන්සේ අපට සම්මුඛ වූයේය. අපි භාග්‍යවතුන් වහ්න්සේගෙන් විචාරන්නට නොහැකිවූවෝ වෙමුයි" කියා පසුව සපුතැවිලි නොවව්යයි" කීවෝය. මෙසේ කී කල භික්ෂූහූ නිශ්ශබ්ද වූහ. භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි වරද, තුන්වෙනි වරද භික්ෂුන්ට කථා කොට එසේම කීසේක. තුන්වෙනි වාරයෙහිද භික්ෂූහූ නිශ්ශබ්ද වූවාහුය. එවිට භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන්ට කථාකොට මෙසේ දේශනා කළෝය.

"ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරවයෙනුත් ඉදින් නොවිචාරන්නේ වී නම්, යහළු මහණෙක්හට කියාවායි" කීවෝය. මෙසේ කීකල භික්ෂූහු නිශ්ශබ්දව සිටියාහුය.

එවිට ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය. "ස්වාමීන් වහන්ස, පුදුමයක්ය. මේ භික්ෂු සංඝයා කෙරෙහි එක භික්ෂු නමකටද බුද්ධ, ධර්ම, සංඝ, මාර්ග, ප්‍රතිපත්තියෙහි සැකයක් හෝ විමතියක් නැත්තේයයි කියා, මම මෙසේ පැහැදුනෙමි" කීවේය.

"ආනන්දය, තොපි පැහැදීම හේතුකොට ගෙන කියන්නෙහිය. මෙහි තථාගතයන් වහන්සේගේ ඥානය කිය යුතුය. තථාගතයන් වහන්සේගේ මේ භික්ෂු සංඝයා කෙරෙහි එක භික්ෂු නමකටද බුද්ධ, ධර්ම, සංඝ, මාර්ග, පැවතුම් ආදියෙහි සැකයක් හෝ විමතියක් නැත." "ආනන්දය, මේ පන්සියයක් පමණ භික්ෂූන් අතරෙහි අන්තිමවූ යම් භික්ෂුවක් වේද, ඔහු සතර අපායෙහි නොහෙළන ස්වභාව ඇත්තාවූ නියතවූ අර්හත්ඵල ඥානයෙන් යුක්තවූ සෝවාන් ඵලයට පැමිණි භික්ෂුවකැයි" කීවෝය.

0 අදහස් හා විමසීමි:

Post a Comment

ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො

අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!
Related Posts Plugin for WordPress, Blogger...