Printfriendly

හතලිස් හය වන කොටස


විසල්පුර කථා
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත්වූ භික්ෂු සංඝයා හා සමග විසාලා මහනුවරට පැමිණ නුවර සමීපයෙහිවූ, අම්බපාලි නම් ගනිකාවගේ (දක්ෂ නාට් ගීත කලා දක්වන්නියගේ) අඹ උයනෙහි වසය කරන සේක.

සතිය
එකල භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථා කළ සේක. "භික්ෂුව සිහියෙන් යුක්තවූයේ, මනා නුවණින් යුක්තවූයේ වාසය කරන්නේය. මේ වනාහී අපගේ අනුශාසනාවයි. මහණෙනි භික්ෂුව කෙසේ නම් සිහියෙන් යුක්තවේද, "මේ ශාසනයෙහි භික්ෂුව කෙලෙස් තවන විර්‍යය ඇතිව නුවණින් යුක්තවූයේ පඤ්චස්කන්ධ නැමති ලොකයෙහි ලොභයද නොසතුටු බවද දුරු කොට මේ කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේය,

ලොභයද නොසතුටු බවද සංසිඳුවගෙන විඳීම අනුව බලමින් වාසය කරන්නේය, ලොභයද නොසතුටු බවද සංසිඳුවගෙන සිත අනුව බලමින් වාසය කරන්නේය. ලොභයද නොසතුටු බවද සංසිඳුවගෙන නීවරණාදී ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. භික්ෂුන් මෙසේ සිහියෙන් යුක්තව වාසය කරන්නේ නම් වෙයි. භික්ෂුව කෙසේ නම් මනා නුවණින් යුක්ත වන්නේද යත්? "මේ ශාසනයෙහි භික්ෂුව ඉදිරියට යාමෙහිද ඉදිරි බැලීමෙහිද වටපිට බැලීමෙහිද අත් පා හැකිලීමෙහිද දිගු කිරීමෙහිද දෙපොට සිවුරය, තනිපොට සිවුරය, පාත්‍රය, යන මේ දෙය දැරීමෙහිද අනුභව කිරීමෙහිද, පානය කිරීමෙහිද, වැළඳීමෙහිද, රස විඳීමෙහිද, මළ මූත්‍ර පහකිරීමෙහිද, නුවණින් යුක්තව එසේ කරන්නේය. යෑම්, සිටීම්, හිඳීම්, සැතපීම්, නිදි තොර කිරීම්, කථා කිරීම්, නිශ්ශබ්දව සිටීම්, යන මේ දෙය නුවණින් දැන කරන්නේය. මහණතෙම මනා නුවණින් සහ සිහියෙන් යුක්තව වාසය කරන්නේය. මේ වනාහී අපගේ අනුශාසනාව නම් වන්නීය"

අමිබපාලියගේ දානය
අමබපාලි නම් ගණිකාව "භාග්‍යවතුන් වහන්සේ වනාහී විශාලා මහ නුවරට පැමිණ විශාලා මහ නුවර සමීපයෙහිවූ මගේ අඹ උයනෙහි වැඩවසති" යන මේ ආරංචිය ඇසුවාය. එවිට හොඳ හොඳ යානාවන් යොදවා විසිතුරු යානාවකටනැගී හොඳ හොඳ යානා වලින් විශාලා මහ නුවරින් නික්මුණාය තමාගේ අඹවන උයනට ගියාය. යානාවෙන් යා යුතු තැන් එසේ ගොස් යානාවෙන් බැස පා ගමනින්ම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට හොඳින් වැඳ එක පැත්තක උන්නාය. අම්බපාලිට භාග්‍යවතුන් වහන්සේ ධර්මයෙන් යුත් කථාවෙන් මෙලොව පරලොව යහපත දක්වා වදාළ සේක. එහි සමාදන් කරවූහ. සිත් තියුණු කරවූහ, සිත පැහැදවූහ, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින්ධර්ම කථාවෙන් මෙලොව පරලොව යහපත දක්වන ලද්දාවූ, එහි සමාදන් කරවන ලද්දාවූ එහි සිත් තියුණු කරවන ලද්දාවූ සිත පහදවන ලද්දාවූ, අම්බපාලි නම් ගණිකාව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාය.

"ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංයා සමග හෙට දවස මාගේ දානය පිළිගණිත්වා" භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව එය පිළිගත් සේක. අම්බපාලි නම් ගණිකාව භාග්‍යවතුන් වහන්සේගේ පිළිගැනීම දැන උන් ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ (ප්‍රදක්ෂිණා කොට) ගෞරවයෙන් ගියාය.

විශාලා මහ නුවර වසන්නාවූ ලිච්ජවී රජ දරුවෝද භාග්‍යවතුන් වහන්සේ වනාහී විසාලා මහ නුවරට පැමිණ විශාලා මහ නුවර සමීපයෙහි අම්බපාලි උයනෙහි වාසය කරන්නාහයි ඇසූහ. එවිට ලිච්ජවී රජ දරුවෝද හොඳ හොඳ යානාවන් යොදවා නුවරින් නික්මුණාහුය. එවිට අම්බපාලි තරුණ තරුණ ලිච්ජවී රජ දරුවන්ගේ රථ තමාගේ රථවලින් හිසින් හිස, රෝදයෙන් රෝදය, වියගහෙන් වියගහ, හප්පමින් ඉක්මණින් යන්නීය. එවිට ලිච්ජවීහු ඈට මෙසේ කීවාහුය. "අම්බපාලිය, තරුණ තරුණ ලිච්ජවීන්ගේ රථ හිසින් හිස, රෝදයෙන් රෝදය, වියගහෙන් වියගහ, හප්පමින් යන්නේ මක්නිසාදැයි" ඇසූහ. "ඒ එසේමය, ආරි පුත්‍රවූ රජ දරුවෙනි, මා විසින් භික්ෂු සංයා සමග භාග්‍යවතුන් වහන්සේට හෙට දවස දානය පිණිස ආරාධනය කළෙමියි" කීවාය. "අම්බපාලිය මේ බත හෙවත් තොප විසින් කරන ලද ආරාධනය ඇති බත කහවනු ලක්ෂයක් ගෙන අපට දෙවයි" ඉල්ලූහ. "ආරිය පුත්‍රවූ රජ දරුවෙනී, ජනපද සහිත විසාලා මහ නුවරම දුන්නේවී නමුත් මේ ආනිසංශ ඇති බත නොදෙමියි" කීය. එවිට ලිච්ජවීහු "පින්වත්නි ඒකාන්තයෙන් ගැහැණියක විසින් අපි පරදවන ලදිම්හ" කියා ඇගිලි එකට ගැසුවාය.

තව්තිසා වැසි දෙවියන්ගේ ස්වභාව
ඉක්බිති ලිච්ජවීහු අම්බපාලි උයන නම් තැනකද එතැනට ගියාහුය. භාග්‍යවතුන් වහන්සේ දුරින්ම එන්නාවූ ලිච්ජවීන් දුටහ. දැක භික්ෂූන්ට කථා කළහ. "මහනෙනි, තොප අතුරෙන්යම්  කෙනෙක් තව්තිසා වැසි දෙවියන් නොදුටුවාහු වෙද්ද, ලිච්ජවී රජ පිරිස් බලව් මේ ලිච්ජවී රජ පිරිස නැවත නැවත බලව්. මහණෙනි ලිච්ජවී පිරිස තව්තිසා වැසි දෙව් පිරිස හා සමාන කොට දැන ගනිව්යි" කීය.

ඉක්බිති ලිච්ජවීහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහුය. එළඹ භාග්‍යවතුන් වහන්සේට හොඳින් වැඳ එක පැත්තක උන්හ. එක පැත්තක උන්නාවූ ලිච්ජවීන්ට භාග්‍යවතුන් වහන්සේ ධර්මයෙන් යුක්ත කථාවෙන් දෙලොව යහපත දක්වා එහි සිත් සමාදන් කරවා සිත් තියුණු කරවා ප්‍රසන්න කරවාලූහ. එවිට භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මයෙන් යුක්ත කථාවෙන් යහපත දක්වන ලද්දාවූ, එහි සමාදන් කරවන ලද්දාවූ එහි සිත් තියුණු කරවන ලද්දාවූ, ප්‍රසන්න කරවන ලද්දාවූ ලිච්ජවිහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ.

"ස්වාම්නි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංයා හා සමඟ හෙට දවස අපගේ දානය ඉවසනු මැනව" "ලිච්ජවී රජ දරුවෙනි, හෙට දවස අම්බපාලිගේ දානය මා විසින් පිළිගන්නා ලදී" එවිට ලිච්ජවීහු පින්වත්නි, ඒකාන්තයෙන් ගැහණියක විසින් අප පරදවන ලදම්හ. පින්වත්නි, ඒකාන්තයෙන් ගැහැණියක විසින් අප රවටන ලදිම්හ" යි කියා ඇගිලි එකට ගැසූහ. ඉන්පසු ලිච්ජවීහු භාග්‍යවතුන් වහන්සේගේ වචනයට විශේෂයෙන් සතුටුව අනුමෝදන්ව ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට හොඳින් වැඳ ප්‍රදක්ෂිණා කොට ගෞරවයෙන් ගියාහුය.

එවිට අම්බපාලි රාත්‍රිය පසුවූකල තමන්ගේ ගෙදර රසවත්වූ කෑ යුතු දෙය පිළයෙළ කරවා, "ස්වාමීන් වහන්ස, දානය (බත) සම්පාදනය විය. දැන් ඊට කාළයයි" දැන්වූවාය. එවිට භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍රා සිව්රු ගෙන භික්ෂු සංඝයා හා සමඟ අම්බපාලිගේ ගෙය යම් තැනකද එතැනට එළඹි සේක. එළඹ පණවන ලද ආසනයෙහි වැඩ උන්සේක. ඉක්බිති අම්බපාලි බුදුන් ප්‍රධාන භික්ෂු සංඝයා රසවත්වූ කෑ යුතු බුදිය යුතු දෙයින් සියතින් වැළඳවූවාය. ඇතිතාක් වැළඳ වූවාය. එවිට අම්බපාලිය භාග්‍යවතුන් වහන්සේ වළඳා අවසන්ව පාත්‍රයෙන් අත ඉවතට ගත් බව දැන එක්තරා පහත් ආසනයක් ගෙන එකපැත්තක උන්නාවූ අම්බපාලි භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාය.

"ස්වාමීනි, මාගේ අඹ උයන බුදුන් ප්‍රධාන භික්ෂු සංයාට දෙමියි" භාග්‍යවතුන් වහන්සේ අඹ උයන පිළිගත් සේක. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ අම්බපාලිට ධාර්මික කථාවෙන් දෙලොව යහපත දක්වා එහි සිත සමාදන් කරවා, තියුණු කරවා, ප්‍රසන්න කරවා, ආසනයෙන් නැගිට වැඩිය සේක. එකල්හිද භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර අම්බපාලි අඹවනයෙහි වාසය කරන සේක් භික්ෂූන්ට බොහෝ කොට මේ ධර්ම කථාවම කරන්නාහ.

1 අදහස් හා විමසීමි:

amila chathuranga said...

වැදගත් ධර්ම කතාවකි මේ දිනවල ගණිකාවන් යැයි අපහාස කිරීම් නිරන්තරයෙන් වත් පොතෙහි හුවමාරු වෙයි..ගණිකාව නම් තැනැත්තිය බුදුන් වහන්සේ ඇය ගණිකාවක් වීම නිසාම හෙලා දැක ඇති අවස්ථා අපි නුදුටු අතර වත්මන් බුදු දහමේ අයිතිකරුවන් ගණිකාවන් යැය් ස්ත්‍රින්ට අපහාස කරමින් ඉතාම නින්දිත ලෙස ක්‍රියා කරනු ලබයි..

Post a Comment

ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො

අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!
Related Posts Plugin for WordPress, Blogger...