හතලිස් හතර වන කොටස


දුසිල් බවේ දෝශ පස
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පාටලී ගම්වැසි උපාසකයන්ට කථා කළහ. "ගෘහපතිය, දුශ්ශීලයාගේ ශීල විපත්තිය සම්බන්ධයෙන් මේ දෝශ පහක් ඇත්තේවේ. පස කවරහුදයත්, දුශ්ශීල තෙමේ ප්‍රමාදය කරණකොට ගෙන මහත්වූ සම්පත්තීන්ගේ හානියට පැමිනෙයි. මේ පළමු වෙනි දෝශයයි. දුශ්ශීලයාගේ අපකීර්ති පවිටු ඝෝෂාව අතිශයින් උස්ව පැන නගියි. මේ දෙවන දෝෂයයි. විපතට පැමිණි සිල් ඇති දුශ්ශීලතෙම ක්ෂත්‍රිය රාජදීන් පිළිබඳ පිරිසූ පිරිසපිරිසකට හෝ බ්‍රාහ්මණ පිරිසකට හෝ ගෘහපතීන්ගේ පිරිසකට හෝ ශ්‍රමණ පිරිසකට හෝ යම් යම් පිරිසකට පැමිනේද සැක සහිතවම භය සහිතවම එළඹෙයි මේ තුන්වැනි දෝශයයි. විපතට පැමනි දුශ්ශීලයා සිහි මුළාවට පැමිණ කාලක්‍රියා කෙරේ. මේ හතර වැනි දෝෂයයි. දුශ්ශීලතෙම ශරීරය විනාශවී මරණින් මතු සැපයෙන් තොරවූ නපුරු ගති ඇත්තාවූ නරකයේ උපදී. මේ පස්වෙනි දෝෂයයි" කීවෝය.

ගෘහපතියෙනි සිල්වත්හුගේ සීල සම්පත්තිය පිළිබඳව මේ ආනිසංශ පසක් වෙත් පස කවරහුද යත්? සිල්වත්තෙම ශීලයෙන් සම්පූර්ණවූයේ නොපමාවීම කරණකොටගෙන මහත්වූ සම්පත් ලබයි මේ පළමුවෙනි ආනිසංශයයි හොඳින් සිල් ඇත්තාවූ සිල්වත්හුගේ උතුම්වූ යහපත් කීර්ති ඝෝෂාව විශෙෂයෙන් උස්ව නැගේ. සම්පූර්ණවූ සිල් ඇති සිල්වත් තෙම ක්ෂත්‍රිය රාජාදීන් පිරිසකට හෝ බ්‍රාහ්මණයන්ගේ පිරිසකට හෝ ගෘහපතියන්ගේ පිරිසකට හෝ ශ්‍රමණයන්ගේ පිරිස කට හෝ යම් යම් පිරිසකට පැමිනේද, සැකයක් නැතුවම නිර්භයවම එළඹෙන්නේය. සම්පූර්ණවූ සිල්ඇති සිල්වත් තෙම සිහි මුළා නොවීම කාලක්‍රියා කෙරෙයි, සම්පූර්ණවූ සිල් ඇති සිල්වත් තෙම ශරීරය විනාශවී මරණින් මතු හොඳ ගති ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහි උපදී. සිල්වත්හුගේ සීල සම්පත්තිය පිළිබඳව, මේ පස්වෙනි ආනිසංසයයි කීවෝය.

ඊට පසුව භාග්‍යවතුන් වහන්සේ පාටලී ගම්වාසී උපාසකවරුන් රාත්‍රිය සම්බන්ධයෙන් බොහෝ වේලාවක් ධර්ම කථාවෙන් යහපත් ලෙස කරුණු දක්වා සමාදන් කරවා සිත් තියුණු කරවා පහදවා හැරිසේක. පාටලී ගම්වැසි උපාසකයන් බැහැරගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ ශුන්යාගාරයට (විවේක ගන්නා කාමරයට) පැමිනියෝය.

දෙවියන්ගෙන් පිදුමි ලබන්නෝ
කාලයෙහි සුනීධය, වස්සකාරය යන මගධ රට මහාමාත්‍යයෝ පාටලී නම් ගමෙහි වැදෑ රජුන්ගේ අයබදු වැළැක්වීම පිණිස නුවරක් කරවන්නාහුය. කාල යෙහිදී ඒ වර්ගයෙන් දහස බැගින්වූ බොහෝ දෙවතාවෝ පාටලී ගමෙහි ගෘහ භූමිවලට අරක්ගෙන සිටිත්. ප්‍රදේශයෙහි වාසස්ථන කරවන්නට රජුන්ගේද රජ මහා ඇමතියන්ගේද සිත් නැමෙත්.

භාග්‍යවතුන් වහන්සේ පිරිසිඳුවූ මනුශ්‍ය ඇසට උසස්ව පවතින දිවැසින් එක් එක් වර්ගයෙන් දහස දහස බැගින් පාටලී ගමෙහි භූමීන්ට අරක්ගෙන සිටින්නාවූ දේවතාවන් දිටුවේය. එවට භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියෙහි අලුයම් වේලෙහි නැගිට සිට ආයුෂ්මත්වූ ආනන්ද තෙරුන් වහන්සේට කථාකොට මෙසේ කීවෝය.

ආනන්දය, පාටලී ගමෙහි නුවරක් සාදවන්නේ කවරෙක්දැයි" ඇසුවෝය. "ස්වාමීන්වහන්ස, සුනීධය, වස්සකාරය යන මගධ රට මහ ඇමතියෝ දෙදෙනා වැදැ රජ දරුවන්ගේ අය බදු වැළැක්වීම පිණිස, පාටලී ගමෙහි නුවරක් සාදවන්නාහුයයි" කීවේය.

යම් ප්‍රදේශයක භූමියකට දේවතාවෝ අරක්ගෙන වෙසෙත්ද එතැන රජදරුවන් හා රජ මහ ඇමතියන්ට වාසස්ථාන ඇති කරන්නට සිත් නැමෙන්නාහුය. "ආනන්දය, යම් පමණ උතුම් මිනිසුන් පැමිනෙන ස්ථාන ඇත්තේද, යම් පමණවෙළඳුන් පැමිනෙන ස්ථාන ඇත්තේද, ස්ථාන අතුරෙන් විකිණීමට ගෙනෙන බොහෝ බඩු පොදි ලිහන තැනක්වූ මේ නගරය ප්‍රධානවූ නුවරක් වන්නේයයි" කීවෝය.

"ආනන්දය, මේ පාටලී නම් නුවරට ගින්නෙන් හෝ දියෙන් මිත්‍ර භෙදයෙන් හෝ වන්නාවූ අන්තරාය තුනක් ඇත්තාහුයයි" වදාළෝය. එවිට සුනීධය, වස්සකාර යන මගධ රට මහා ඇමතියෝ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මෙසේ දැන්නුවෝය."භවත් ගෞතමයන් වහන්ස, භික්ෂු සංයාවහන්සේ හා සමග අද දවස අපේ භෝජනය පිළිගන්නා මැනවයි දැන්වූහ.

භාග්‍යවතුන් වහන්සේ තුෂ්නිම් භාවයෙන් (ආරාධනාව) පිළිගත් සේක. "භවත් ගෞතමයාණන් වහන්ස, භෝජනය සුදානම්ය. දැන් ඊට කාළය වේයයි" කියා භාග්‍යවතුන් වහන්සේට දැන්නුවාහුය. එවිට භාග්‍යවතුන් වහන්සේ උදේවරු වේලෙහි හැඳ පොරවා පාත්‍රා සිව්රු ගෙන භිඳ සංඝයා සමග සුනීධය, වස්සකාරය යන මගධරට මහා ඇමතියන්ගේ නිවාස යම් තැනකද එතැනට පැමිනියෝය. පැමිණ පණවනලද ආසනයෙහි වැඩ උන්සේක. එවිට සුනීධය, වස්සකාරය යන මගධ රට මහා ඇමතියෝ බුදුන් ප්‍රධාන කොට ඇති භික්ෂු සංයා මිහිරි ආහාරපාන ආදියෙන් සිය අතින් වැළෙඳව්වාහුය.

එවිට සුනීධය, වස්සකාර යන මගධ රට මහා ඇමතියෝ වළඳා අවසානවූ භාග්‍යවතුන් වහන්සේ ළඟ එක්තරා පහත් ආසනයක් ගෙන එක පැත්තකින් උන්නාහුය.  මහ ඇමතියන්ට භාග්‍යවතුන් වහන්සේ මේ අදහස ඇති ගාථාවලින් පින් අනුමෝදනා කළසේක.

ප්‍රඥා ඇත්තෙක් යම් ප්‍රදේශයක වාසය කරන්නේ වේද, එහි සන්සුන් ඉන්ද්‍රියන් ඇත්තාවූ, උතුම් හැසිරීම් ඇත්තාවූ (බ්‍රහ්මචාරීවූ) සිල්වතුන් වහන්සේලා වළඳවා එතැන යම් දේවතා කෙනෙක් ඇත්තාහුද ඔවුන්ට පින් දෙන්නේ වේද පුදනු ලැබූ දේවතාවෝ ඔවුන් පුදත්. සිතින් ගරු කරනු ලැබූ ඔව්හු, ඔවුන්ට සිතින් ගරු කරත්. යම්සේ මෑණියෝ තමන්ගේ ඔඃරස පුත්‍රයාට අනුකම්පා කරන්නේද, එමෙන්, දෙවියෝ පින් දුන් ඔවුන්ට අනුකම්පා කරන්නාහුය. මෙසේ දෙවියන් විසින් අනුකම්පා කරන ලද පුද්ගලයා හැම කල්හිම යහපත් සැපයක්ම දකින්නේය." යනුයි. එවිට භාග්‍යවතුන් වහන්සේ පින් අනුමෝදනාව කොට හුනස්නෙන් නැගිට ගියෝය.

කාලයෙහි සුනීධ, වස්සකාර යන මගධ රට මහා ඇමතියෝ ශ්‍රමණ භවත් ගෞතම තෙම අද යම් දොරටුවකින් නුවරින් පිට වන්නේද දොර "ගෞතම දොරය" යන නම වන්නේය, යම් තොටකින් ගංගානම් ඟින් එතෙර වන්නේද තොට "ගෞතම තොට" නම් වන්නේයයි" භාග්‍යවතුන් වහන්සේ පසුපස්සෙහි අනුව ගියාහු වෙත්. එකල භාග්‍යවතුන් වගන්සේ යම් දොරකින් නුවරින් පිටතට ගියෝද දොරට "ගෞතම දොර" යන නම වූයේය. එවිට භාග්‍යවතුන් වහන්සේ ගංගානම් ගඟ අසළට පැමිනිසේක.

කාළයෙහි ගංගානම්ගඟ ඉවුරු දක්වා පිරී ඇත්තීය. එහි එතෙර මෙතෙර යනු කැමැත්තාවූ සමහරෙක් ඔරුවක් හෝ පාරුවක් සොයන්නාහුය, ඇතැම් කෙනෙක් පහුරක් බඳින්නාහුය, එකල භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංයා සමග ගංගානම් ගෙඟන් මෙතෙරදී නොපෙනී ගොස් එතෙරට පැමිණ වැඩ සිටිසේක. එතෙර මෙතෙර යනු කැමැත්තෝ භාග්‍යවතුන් වහන්සේ දැක්කෝය එවිට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැක එවේලෙහිම මේ තේරුම ඇති ප්‍රීති ගාථාව කී සේක. මේ ලෝකවාසී සත්වයෝ ගංගානම් ගෙඟන් එතෙරවනු කැමතිව පහුරු බඳින්නාහුය, ඥානවන්තයෝ ආර්ය මාර්ග පහුරු බැඳ පළල්වූද ගැඹුරුවූද තණ්හා ගංගාවෙන් එතෙර වූවාහුය"

0 අදහස් හා විමසීමි:

Post a Comment

ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො

අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!
Related Posts Plugin for WordPress, Blogger...