Printfriendly

දහ හතර වන කොටස


බෝසත් උපත
බොධිසත්වයන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුතව සිහි නුවණින් යුක්ත වූයේ මව් කුස පිළිසිඳ ගත්තේය. මෙසේ සිහි නුවණින් යුක්ත මව් කුස පිළිසිදීම බුදුවරයන්ගේ ධර්මතාවකි. යම් කලෙක බෝධිසත්ව තෙම තුසිත දෙව්ලොවින් චුතව මව් කුස පිළිසිඳ ගනීද එකල දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බඹුන් සහිතවූ ලෝකයෙහිද මහණ බමුණන් සහිතවූ දෙව් මිනිසුන් සහිතවූ සත්වයන් කෙරෙහිද දෙවියන්ගේ දිව් ආනුභාවය ඉක්මවා අප්‍රමාණවූ මහත්වූ ආලොකයක් පහළවෙයි. යම් තැනක් මෙසේ මහත් සෘඩි ඇති මහත් ආනුභාව ඇති සඳු හිරු දෙදෙන තමන්ගේ ආලෝකයෙන් ආලෝක නොකරත්ද මහත් අන්ධකාරයෙන් අඳුරුව පවත්නාවූ යටින් පිහිටීමක් හෝ උඩින් වැසීමක් හෝ නැත්තාවූ ලෝකාන්තරික නිරයෙහිද දෙවියන්ගේ දෙවානුභාවය ඉක්මවා මහත් ආලොකයක් පහළ වන්නේය.

යම් සත්ව කෙනෙක් එහි උපන්නාහුද සත්වයෝද ආලෝකයෙන් ඔවුනොවුන් හඳුනත්. පින්වත්නි, යම්සේ මෙහි අපි මහ දුක් විදිමුද එපරිද්දෙන් දුක් විදින්නාවූ මෙහි උපන් අන්‍ය සත්වයෝද ඇත්තාහුයයි කියායි. මේ දශසහශ්‍රී ලෝක ධාතුවද කම්පා වෙයි. ඉතා වැඩිව කම්පා වෙයි. වැඩිව සෙලවෙයි. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා අප්‍රමාණවූ මහත් ආලෝකයක් පහළවෙයි. මෙයද බුදුවරයන්ගේ ධර්මතාවකි.

බුදුවරයන්ගේ ධර්මතා වෙත්, යම් කලක බොධිසත්වයන් වහන්සේ මව් කුස පිළිසිඳ ගත් සේක්ද, එකල දිව්‍ය පුත්‍රයෝ සතර දෙනෙක් හතර දිසාව ආරක්ෂාව පිණිස පැමිණෙත්. බෝධිසත්වයන් හෝ උන්වහන්සේගේ මව අන් කිසිවෙක් නොපෙළවයි.
 
යම් කලෙක බෝධිසත්වයන් වහන්සේ මව් කුසට පැමිණියේ වේද, ස්වභාවයෙන්ම බොධිසත්ව මව් තොමෝ පංච ශීලය රකින ඇත්තියක් වේ. මවට කිසියම් පුරුෂයෙකු කෙරෙහි කාම ගුණ සහිත සිතක් නූපදී. රාග සිත් ඇති කිසියම් පුරුෂයෙකු විසින් උන්වහන්සේගේ මව් තොමෝ ආශ්‍රය නොකළ හැක්කේ වෙයි. බොධිසත්ව මව් තොමෝ බොහෝ සම්පත් ලබන්නියක් වේ.

බොධිසත්ව මව්ට කිසියම් ආබාධයක් නූපදී. බොධිසත්ව මව සැප ඇත්තියක් වේ. බොධිසත්ව මව් දුර්වල නුවූ ශරීර ඇත්තී කුස තුළවූ සම්පූර්ණ ඉන්ද්‍රීයයන් ඇති සියලු අඟ පසඟ ඇත්තාවූ බොධිසත්වයන් දකී. බොධිසත්වයන් උපන් සත්වෙනි දිනයෙහි බොධිසත්ව මවු පරලොව යන්නීය. තුසිත දිව්‍ය ලෝකයෙහි උපදී. බොධිසත්ව මව බොධිසත්වයන් දස මසක්ම කුසින් උසුලා සිට වදයි. බොධිසත්ව මවු සිටගෙනම බොධිසත්වයන් වදයි.

යම් කලක බොධිසත්වයෝ මව්කුසින් බිහිවේද, දෙවියෝ පළමුකොට පිළිගණිත්. පසුව මනුශ්‍යයෝ පිළිගනිත්. යම් කලක බෝධිසත්වයෝ මව් කුසින් නික්මෙත්ද එකල බෝධිසත්වයෝ පොළොවට නොපැමිණියෝම වෙත්. දෙවිවරු හතර දෙනෙක් බොධිසත්වයන් පිළිගෙන මෑණියන් ඉදිරියේ තබත්. දේවියනි, ඔබට මහානුභාව ඇති පුතෙක් උපන්නේය, දේවිය සතුටු වෙයි.

යම් කලක බොධිසත්වයෝ මව්කුසින් නික්මෙත්ද, එකල පිරිසිඳුව නික්මෙති. කිසි කැතකුණකින් නොතැවරෙන ලද්දේ වේ. සුද්ධවෙයි, පිරිසිඳු වෙයි. යම් කලක බොධිසත්වයෝ මව් කුසින් නික්මෙත්ද එකල බෝධිසත්වයන්ගේ හා මවගේ යම් කටයුත්තක් ජලයෙන් කෙරෙත්ද සඳහා ජලධාරා දෙකක් අහසින් පහළ වෙත්. එයින් එකක් සීත ජලය වෙයි, එකක් උෂ්ණ ජලය වෙයි.

බොධිසත්වයන් වහන්සේ උපන් කෙණෙහි බ්‍රහ්ම දේව මනුශ්‍යයන්ගේ අතින් පොළොවට බැස සම පාදයන්ගෙන් පොළොවේ පිහිටා උතුරු දිසාවට අභිමුඛව ශ්වේතඡත්‍රය දරමින් සත් පියවරක් ඉදිරියට ගමන් කෙරෙයි. සියලු දිශාවන්ද බලයි, මම ලෝකයට අග්‍රවෙමි. මම ලෝකයට ප්‍රධාන වෙමි. මම ලෝකයට උතුම් වෙමි. මේ අවසාන ජාතියයි. දැන් මට මෙයින් මතු නැවත උප්පත්තියක් නැතැයි" යන අභීත වචන කියයි.

යම් කලක බොධිසත්වයෝ මව් කුසින් නික්මෙත්ද, එකල දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බඹුන් සහිතවූ ලෝකයෙහිද මහණ බමුණන් සහිතවූ දෙව් මිනිසුන් සහිතවූ සත්ත්වයන් කෙරෙහිද දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ප්‍රමාණ නොකළ හැකි මහත්වූ ආලෝකයක් පහළ වේ.

අඳුර ඇත්තාවූ ගණ අඳුර ඇත්තාවූ යම් ලෝකාන්තරික නම් නිරයක් ඇත්තේද, ලෝකාන්තරික නිරයෙහිද මහත් ආලෝකය පහළ වෙයි. මේ දසදහසක් ලෝක ධාතුව කම්පා වෙයි. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවූ ප්‍රමාණ නොකළ හැකි මහත් ආලෝකයක් පහළ වෙයි.

බමුණන්ගේ අනාවැකිය
කුමාරයා උපන් කල්හි දේවයන් වහන්ස, ඔබට පුතෙක් උපන්නේය. දේවයන් වහන්සේ පුතු බලනු මැනවයි සුදොවුම් රජුහට දැන්වූහ. සුදොවුම් රජ තෙම කුමාරයා දුටුයේය. දැක නිමිති දත් බමුණන් කැඳවා මෙසේ කීයේය. "පින්වත් නිමිති දත් බ්‍රාහ්මණයෝ මේ කුමාරයා බලත්වා" කියාය" නිමිති දත් බ්‍රාහ්මණයෝ කුමාරයා දුටුවාහුය. දැක සුදොවුම් රජහට මේ කාරණය කීහ. "දේවයන් වහන්ස, ඔබ වහන්සේ සතුටු සිත් ඇත්තෙක් වුව මැනව, දේවයන් වහන්ස, ඔබ වහන්සේට මහා ආනුභාව ඇති පුතෙක් උපන්නේය. යම් බඳුවූ ඔබගේ කුලයෙහි මෙබඳු කුමරෙක් උපන්නේද මහරජ, එය ඔබට ලාභයකි. මහරජ එය ඔබට යහපත් ලාභයකි.

දේවයන් වහන්ස, මේ කුමරු දෙතිස් මහ පුරිස් ලකුණෙන් යුක්තය මේ ලකුණෙන් යුක්තවූ මහාපුරුෂයෙකුගේ ගති දෙකක්ම වෙත්. අනික් ගතියක් නොවේ. ඉදින් ගිහිගෙයි වාසය කෙරෙ නම් ධාර්මිකවූ සතර මහා ද්වීපයට අධිපතිවූ සියලු සතුරන් දිනන ලද්දාවූ ජනපදයන්හි ස්ථිරවූ රත්න හතකින් යුක්තවූ සක්විති රජෙක් වෙයි. සක්විති රජ සාගරයෙන් වට කොට ඇති මේ පෘතුවිය දඩුවම් කිරීමක් නැතුව ආයුධ නැතුව ධර්මයෙන් ජය ගෙන අධිපතිව වාසය කෙරෙ. ඉදින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවේ නම් කෙලෙස් නමැති වහළ සිඳ දමා ලෝකයෙහි අර්හත් සම්‍යක් සම්බුදු වන්නේය.

දෙතිස් මහා පුරිෂ ලක්ෂන
දේවයන් වහන්ස, මේ කුමාරයා යහපත් ලෙස පිහිටි පාද තල ඇත්තේය. දේවයන් වහන්ස, යම් හේතුවකින් මේ කුමාරයා එක පහරින් භූමිය ස්පර්ශ වෙන යහපත් ලෙස පිහිටි පාදතල ඇත්තෙක් වේද, මෙය මහා පුරුෂයාගේ මහා පුරුෂ යයි දැන ගන්නා ලක්ෂණවේ. දේවයන් වහන්ස, මේ කුමාරයාගේ යටි පතුල්හි දහසක් දැති (ගරාදි) ඇත්තාවූ නිම්වලලු (වක්අතු) සහිතවූ නාභි (බොස්ගෙඩිය) සහිතවූ සෑම ආකාරයෙන් සම්පූර්ණවූ වක්‍ර දෙකක් හට ගත්තාහු වෙත්. මහා පුරුෂයාගේ මහා පුරුෂ ලක්ෂණයක් වේ.

දේවයන් වහන්ස, මේ කුමාරයාගේ දික්වූ සම්පූර්ණ විලුඹක් ඇත්තේය. දිගුවූ අත් පා ඇගිලි ඇත්තේය. මහා පුරුෂයාගේ මහා පුරුෂ ලක්ෂණයක් වේ. දේවයන් වහන්ස, මේ කුමාරයා මොළොක් ළපටි අත් පා ඇත්තෙකි. අත්වල ඇගිලි සතරද පාදයේ ඇගිලි පසද අගින් සමව විනිවිද පෙනෙන ජාල හස්ත පාද ලක්ෂණයෙන් යුක්තය. උස්ව සිටි විලුම් ඇත්තෙකි, ඒණි මුවන්ගේ (මුවන් වර්ගයක්) කෙණ්ඩා හා සමාන, සමවූ මසින් වටවූ කෙණ්ඩා ඇත්තෙකි. සිට නොනැමී දෙදන (දනහිස්) අතගෑමට සමර්ථය. මේ කුමාරයා කය තුළ වැද සිටියාවූ පුරුෂ නිමිති ඇත්තේය. රත්රන් පාට වෙයි. රත්රන් පාට සිහින් සමක් ඇත්තෙකි. සිහින් සිවි ඇත්තෙකි. සිවිය සියුම් බැවින් ශරීරයෙහි දූවිලි දැලි නොඇලේ. එක එක කූපයක එක එක ලොම් ඇත්තෙකි. නිල්වූ අඳුන් වැනි පාට ඇති කන් මුදුවක් සේ දකුණට කරකැවී අග උඩට හැරීගිය ලොම් ඇත්තෙකි. බ්‍රහ්ම ශරීරයක් මෙන් කෙලින් පිහිටි ශරීර ඇත්තෙකි. දෙඅත් පිටය, දෙපා පිටය, දෙඋරය පිටය යන තන්හි පිරුණු මස් ඇත්තෙකි. සිංහයකුගේ මෙන් සම්පූර්ණවූ කයේ උඩු කොටස ඇත්තෙකි.

තුනටියේ සිට උරහිස් දක්වා මස් රොදකින් වැසී ගිය පිට මැද ඇත්තෙකි. නුග ගසක් මෙන් උසට සරි මහත මහතට සරි උසද ඇත්තෙකි. ඔහුගේ ශරීරය යම් ප්‍රමාණයක් වේද ඔහුගේ බඹයද එපමණම වේ. ඔහුගේ බඹය යම් පමණද ඔහුගේ ශරීරයද එපමණ වේ. දිගද නොවූ කොටද නොවූ යහපත් ලෙස පිහිටි ගෙල (බෙල්ල) ඇත්තේය. උඩුකුරුව බෙල්ලෙහි බැදී සිටි සත් දහසක් රස නහර ඇත්තෙකි. සිංහයෙකුගේ මෙන් පිරුණු හනු දෙකක් ඇත්තෙකි. දත් හතලිහක් ඇත්තෙකි. උස් මිටි නොව සමව පිහිටි දත් ඇත්තෙකි. අතර සිදිරු නැති දත් ඇත්තෙකි. ඉතා සුදු රුස් විහිදෙන දත් ඇත්තෙකි. දුක්වූද පළල්වූද දිවක් ඇත්තෙකි. කොවුලන්ගේ හඞ මෙන් මිහිරි උතුම් නාදයක් ඇත්තෙකි. ඉතා නිල් ඇස් දෙකක් ඇත්තෙකි. වස්සෙකුගේ මෙන් නොගිලිණු නොඉල්පුණු ඇස් ඇත්තෙකි. මේ කුමාරයා දෙබැම මැද නළලෙහි හටගත් සුදුපාට පුළුන් රොදක් සේ මෘදුවූ ඌර්ණ නම් රෝමයක් ඇත්තෙකි. යම් හේතුවකින් මේ කුමාරයා දෙබැම මැද නළලෙහි හටගත් ඌර්ණ නම් රෝමයක් අත්තෙක් වීද මේද මහාපුරුෂයාගේ මහා පුරුෂ ලක්ෂණයක් වෙයි. මේ කුමාරයා නළල් පටක් සහිත හිස ඇත්තේය. නොහොත් දිය බුබුලක් මෙන් වටවූ හිසක් ඇත්තෙකි. යම් හේතුවකින් මේ කුමාරයා දිය බුබුලක් මෙන් වටවූ හිසක් ඇත්තෙක් වේද, මේද මහා පුරුෂයාගේ මහා පුරුෂ ලක්ෂණයක් වේ.

ඉදින් ගිහි ගෙයි වාසය කෙරෙනම් සක්විති රජ වෙයි. ඉදින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවේ නම් ලොකයෙහි රාගාදී කෙලෙස් වැසීම නසා අර්හත් සමිමා සම්බුදු වෙයිද එවැනි ලක්ෂණයෝයි.

එවිට සුදොවුම් නම් රජ නිමිති දත් බ්‍රාහ්මණයන් අලුත් ඇඳුම් අන්දවා සියලු කැමති දෙයින් සිත් සතුටු කෙළේය.  එවිට සුදොවුම් රජ සිද්ධාර්ථ කුමාරයාට කිරි මවුන් පත් කෙළේය. වෙනත් ස්ත්‍රීහු කිරි පොවත්, වෙනත් ස්ත්‍රීහු නාවත්, වෙනත් ස්ත්‍රීහු දරත්, වෙනත් ස්ත්‍රීහු ඇකයෙන් වඩා ගනිත්. උපන්නාවූ කුමාරයාට දාවල් දෙකෙහි සේසත (සුදු කුඩය) දැරූහ. බෝසත්වයන් ශීතල හෝ උෂ්ණය හෝ තණ හෝ දූවිලි හෝ පිනි හෝ පීඩා නොකෙරෙවායි කියායි. කුමාර තෙම බොහෝ දෙනාට ප්‍රි වූයේය. හිත සතුටු කරන්නෙක්ද විය. කුමාරයා අතින් අතට උකුලෙන් උකුලට වඩා ගනිමින් පරිහරණය කරණු ලැබෙ. කුමාරයා සිහින් කටහඞ ඇත්තේද, දක්ෂවූ කටහඞ ඇත්තේද, මිහිරි කටහඞ ඇත්තේද, ප්‍රේම කටයුතු කටහඞ ඇත්තේද විය. (දීඝ නිකාය, මහාපදාන සුතුර)

0 අදහස් හා විමසීමි:

Post a Comment

ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො

අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!
Related Posts Plugin for WordPress, Blogger...