Printfriendly

දහතුන්වන කොටස


  බුද්ධ වංශය
මේ කපින් පමණ කළ නොහැකි කපක්වූ එක් කපෙක සත්ත්වයන් හික්මවන "තණ්හඞකර" , "මෙධඞ්කර", නැවතද "සරණඞ්කර", "දීපඞ්කර" යන සතර ජිනවරයෝ එක් කපෙකවූහ. දීපඞ්කර බුදුරදුන්ට පසු කාලයෙහි ලෝකනායකවූ "කොණ්ඩඤ්" නම් එකම බුදුවරයෙක් එක් කපෙක බොහෝ ජන සමූහයා (සසර සයුරෙන්) එතර කළ සේක.

දීපඞ්කර භාග්‍යවත්හුගේද, කොණ්ඩඤ්ඤ ශාස්තෘහුගේද යන මේ බුදුවරයන්ගේ අතර කල්පයෝ ගණන් කළ නොහැක.

"කොණ්ඩඤ්ඤ" බුදුරදුන්ට පසු කාලයෙහි "මඞ්ගල" නම් ලෝනාහිමි තෙම වී. බුදුවරයන්ගේද අතර කල්පයෝ ගණනින් නොගිණිය හැක. "මඞ්ගලය, "සුමනය, "රෙවත" බුදුය, "සොභිත" බුදුය යන පසැස් ඇති ආලෝකය ඇති කරණ බුදුවරයෝද එක් කල්පයෙක්හිම (වූහ.)

"සොභිත" බුදුරදුන්ට පසු කාලයෙහි මහත් පිරිවර ඇති, "අනෝමදස්සී" බුදුරජතෙම ලොව පහල වී. උන්වහන්සේලාගේද අතර කල්පයෝ ගණණිය් ගිණිය නොහැක. "අනොමදස්සී", "පදුම", "නාරද" යන ලෝක නායක, මොහඳුරු දුරුකළ, මුනි නම්වූ බුදුරදහුද, එක් කලෙක ලොව පහල වූහ.

"නාරද" බුදුරදුන්ට පසු කාලයෙහි "පදුමුත්තර" නම් ලෝනාහිමි මෙම එක් කපෙක උපන් සේක. බොහෝ ජන සමූහයා සසර සයුරෙන් එතර කළ සේක. "නාරද" භාග්‍යවත්හුගේ සහ "පියුමතුරා" ශාස්තෘහුගේ යන බුදුවරුන් අතර කල්පයෝ ගණනින් ගිණිය නොහැක. (මේ කපින්) ලක්ෂයක් වන කපෙහිදී මුළු ලෝ දත්, සිව්පසයන් පිළිගන්නාවූ, එක් "පියුමතුරා" නම් මහ මුනිවරයෙක් වී.

පියුමතුරා බුදුරදුන්ට පසු, තිස් දහස්වන කපෙහි සුමේධය, සුජාතාය යන බුදුවරයෝ දෙනමක් වූහ. සුජාතා බුදුරදුන්ට අසූ අටලොස්වන කප් සියය වූ කල්හි එක් කල්පයෙක පියදස්සී, අත්ථදස්සීද, ධම්මදස්සීය යන තමහට සමාන පුද්ගලයෙක් නැති, සිය නැණින් සිව්සස් අවබෝධ කළ (සම්බුදුව) දෙපා ඇති සතුන්ට (දෙව් මිනිසුන්ට) උතුම්වූ ලෝනාහිමි සත්ත්වයන් හික්මවන සම්බුදුවරයෝ තුන් නමක් ලෝකයෙහි පහළවූහ.

මේ කපින් සිව් අනූවන කපෙහි තුන්ලොව දත්, (කෙලෙස් හඩ කපා හරණා හෙයින්) සැත් වෙදෙකු වැනි, උතුම්වූ එකම සිධත්ථ මහමුනිඳු තෙම වී. මේ කපින් දෙඅනූවන කපෙහි තිස්සය, ඵුස්සය යන දෙවැනි පුද්ගලයෙක් නැති, අසමවූ, සත්ත්වයන් හික්මවන සම්බුදුවරයෝ දෙනමක් වූහ.මේ කපින් අනු එක්වන කපෙහි (ලොව පහලවූ) කරුණා ඇති, ලොවට නායක විපස්සී සම්බුදුරදහුද සතුන් බව බැඳුමෙන් මිදීම කළ සේක.

මේ කපින් තිස්එක්වන කපෙහි අසමවූ, දෙවැනි පුද්ගලයෙක් නැති, "සිඛී", "වෙස්සභූ" යන බුදුවරයෝ දෙනමක් වූහ. මේ භද්‍ර කල්පයෙහි "කකුසඳ", "කොණාගමන", "කස්සප" යන ලොවට නායකවූ, සතුන් හික්මවන බුදුවරයෝ තුන් නමක් වුහ.

මම මේ කාලයෙහි සම්බුදු වෙමි. (අනාගතයෙහි) "මෙතේ" බුදුරදහුද ඇති වන්නේය. නුවණ ඇත්තාවූ, ලොවට අනුකම්පා කරණ මේ බුදුවරයෝ පස්දෙනා වහන්සේලාද, මේ දම්රදුන් අනික් කෝටි ගණන් බුදුවරයන්ගේද, මග දේශනාකොට, ශ්‍රාවකයන් සහිතව බුදුවරයෝ පිරිනිවියාහුය. (ඛුද්දක නිකාය, බුදුවරුන්ගේ ප්‍රකීර්ණක කාණ්ඩය. බුද්ධවංස පාළි.)

ගෞතම බුදුරජුන්ගේ වංශය.
මේ කාලයෙහි ශාක්‍ය කුලය වැඩි දියුණු කරණ, ගෞතම බුදුරජවූ මම ප්‍රධාන වීර්‍යය කොට සම්බෝධියට පැමිණියෙමි. බඹහු විසින් අයදනා ලද්දේ, දම්සක් පැවැත්වූයෙමි. අටළොස් කෝටියක් දෙනෙකුන්ට පළමුවන ධර්මාවබෝධය වීය.

ඉන් පසුද දෙවි මිනිසුන්ගේ රුස්වීමේදී දහම් දෙසන කල්හි ගණනින් නොකිය හැකි දෙනෙකුට දෙවන ධර්මාවබෝධය වීය. මෙහිදීම මම මේ කාලයෙහිදී මාගේ පුතුට අවවාද කෙළෙම්ද, කාලයෙහි ගණනින් නොකිය හැකි දෙනෙකුන්ට තුන්වන ධර්මාවබෝධය වීය.

මට සීලාදී ගුණ සොයන ශ්‍රාවකයන්ගේ එක රුස්වීමක් විය. දෙදහස් පන්සියයක් පමණ භික්ෂූන්ගේ රුස්විමක් විය. බික් සඟන මැද බුදු සිරින් බබලන, රාගාදී කිලුටු නැති මම සියලු කැමැති දේ දෙන මිනිරුවනක් සේ පතන ලද ලොවී ලොව්තුරු සියල්ල දෙමි.

සිව් මග පල කැමතිවන, භව ආසාව දුරුකරනු කැමැත්තවුන්ට අනුකම්පාකොට සිවුසස් දෙසුවෙමි. දසදහස් දෙනාට, විසිදහස් දෙනාට වරින්වර ධර්මාවබෝධය වීය. එකෙකුට දෙන්නෙකුට වූ ධර්මාවබෝධය ගණන් නොකළ හැකි හෙවත් අසංඛ්යයකි. මේ කාලයෙහි ශාක්‍ය වංශයට ශ්‍රේෂ්ඨවූ මාගේ සස්න පැතුරුනේය. බොහෝ දෙනා අතර පළවිය. දියුණුය. සියලු අයුරින් පිරුණේය. මග පල නමැති මල් පිපි ගියේය. ඉතා පිරිසිඳුය.

ආසාව නැති, රාගාදිය පහකළ, සන්හුන් සිත් ඇත්තාවූ, එකඟ සිත් ඇති, නොයෙක් සිය ගණන් බොහෝ භික්ෂූහු මා හැම කල්හි පිරිවරත්. මේ කාලයෙහි සෙඛවූ රහත් බවට නොපැමිණි යම් භික්ෂු කෙනෙක් මිනිස් බව හරිත්ද, භික්ෂූහු නුවණැත්තවුන් විසින් නින්දා කරණ ලද්දාහුය.

සසර හැසිරෙන්නාවූ සියල්ලෝද, දහම්හි ඇලුනු ජනයෝද, අරි අටගි මගට පසසන මනා සිහි ඇති සත්ත්වයෝද, අනාගතයෙහි සිවුසස් අවබෝධ කරත්. මාගේ උපන් නුවර "කිඹුල්වත්" නමි. පියතෙම "සුදොවුන්" නම් රජය. වැදූ මව් තොමෝ "මායාදේවී" යයි කියනු ලැබේ.

මම බුදුවන්ට පෙර එකුන්තිස් අවුරුද්දක් ගිහිගෙයි වාසය කෙළෙමි. "රම්ම", සුරම්ම", "සුභ" යන උතුම් තුන් පහයක් වූහ. මනාව අලංකාර කළ පිරිවර අඟනෝ සතළිස් දහසකි. බිරින්ද "භද්දකච්චානා" යශොදරා)නම් වූවාය. පුත්තෙම "රාහුල" නම් වීය.

මම සතර පෙරනිමිති දැක අස් යානයෙන් මහභිනික්මන් කෙළෙමි. අවුරුදු සයක් මුලුල්ලේ ඉතා අපහසු ප්‍රධාන වීර්‍යය කෙළෙමි. බරණැස ඉසිපතනාරාමයේදී මා විසින් දම්සක් පවත්වන ලදී. මම සියලු සතුන්ට පිහිටවූ ගෞතම සම්බුදු වෙමි.

කෝලිත" , "උපතිස්ස" යන දෙදෙන අග්‍ර ශ්‍රාවකයෝ වෙති. මාගේ අතවැසි උපස්ථායක තෙම "ආනන්ද" නම් වේ. "ඛෙමා" , "උප්පලවණ්ණා" යන භික්ෂුණීහු දෙදෙන අග්‍ර ශ්‍රාවිකාවෝ වෙති. "චිත්ත" , "හත්ථාලක" යන උපාසකයෝ දෙදෙන අග්‍ර උපස්ථායකයෝ වෙති. නන්දමාතා" , "උත්තරා" යන උපාසිකාවෝ දෙදෙන අග්‍ර උපාසිකාවෝ වෙති. මම ඇසතු රුක් මුලදී උතුම් සම්බෝධියට බුදුබවට පැමිණියෙමි.

හැම කල්හි මාගේ සිරුරෙහි බඹයක් පමණ තැන් පැතිරෙන ප්‍රභාව ආලෝකය සොළොස් රියනක් උස්වූවාය. මෙකල ආයුෂය මඳවූයේ සියක් අවුරුද්දක් පවත්නේය. මම ඒතාක් කල් සිටිමින් බොහෝ ජන සමූහයා සසරින් එතර කරමි. පසුවට ඇතිවන ජනයාගේ අවබෝධය පිණිස දහම් නමැති එළිය හුල තබා මමද නොබෝ දිනකින්ම ශ්‍රාවක සමූහය සමග දර ගෙවි යාමෙන් ගින්න මෙන් මෙහිදීම පිරිනිවන් පාන්නෙමි. (බුද්ධ වංස පාලිය, ගෞතම බුදු රජුන්ගේ වංශය)
(ගෞතම බුද්ධ වංශය නිමි)

සබැඳි
පෙර කොටස කියවන්න      ඉදිරි කොටස කියවන්න     පෙළ කියවන්න

2 අදහස් හා විමසීමි:

Pasan Wijesinghe said...

thank you. godak pin.

ඉන්දික said...

ගොඩාක් හොඳයි

Post a Comment

ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො

අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!
Related Posts Plugin for WordPress, Blogger...